බන්දුලගෙන් අනතුරු ඇඟවීමක්

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මත්පැන් අලෙවිසැල සතියක් ඇතුළත ඉවත් නොකළහොත් තමන් දැඩි තීන්දුවක් ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
බලතල සියල්ලටම වඩා තමන්ට වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බවයි ඔහු පවසන්නේ.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ලද රට බීමහලකට එරෙහිව පැවති සත්‍යග්‍රහයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දීර්ඝ කාලයක සිට හෝමාගම නගරය ආශ්‍රිතව රට බීමහල් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී නැති බැවින් හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත් ඔහුට එරෙහිව පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.