කැන්ඩි ෆැල්කන්ස් ට විශිෂ්ට ජයක්

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පස්වරුවේ පැවැති තරගයෙන් දඹුල්ල සික්ස්සර්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 54ක විශිෂ්ට ජයක් ලැබීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවා.

එහිදී අන්ඩ්‍රි ෆ්ලෙචර් 60(34), කමිඳු මෙන්ඩිස් නොදැවී 51(24), ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 44(23) හා වනිඳු හසරංග 25(12) ප්‍රහාරාත්මක ඉනිම් ගොඩනමින් කණ්ඩායම ශක්තිමත් කළා.

කෙසේ නමුත් ලකුණු 223ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස දඹුල්ලට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 168ක් පමණයි.

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 40කින් ලකුණු 74ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිවෙකුට කණ්ඩායම දිනවිය හැකි ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකි වුණා.

මෙහිදී කැන්ඩි වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 04ක් බිඳලීමට සමත් වූ අතර වනිඳු මෙහිදී තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවුණා.

කැන්ඩි ලැබූ මෙම ජයත් සමග ඔවුන් අවසන් ස්ථානයේ සිට 04වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණි අතර, 04වැනි ස්ථානයේ පසු වූ දඹුල්ලට අවසන් ස්ථානය දක්වා පසුබැසීමට සිදු වූ අතර ඔවුන් තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවධානමට ලක්ව තිබුණා.

කෙසේ නමුත් කැන්ඩි කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩාකරන සියලුම තරග අදින් අවසන් වූ අතර, දඹුල්ලට තවත් එක් තරගයක් ඉතිරිව තිබෙනවා.

එම තරගය ගෝල් කණ්ඩායම පරාජය වුවද, ඔවුන් දෙවැනි ස්ථානයෙන් පහළට නොවැටෙන අතර, කලම්බු කණ්ඩායමටද දැනට සිටින තෙවැනි ස්ථානයේ ඉහළට යාමට නොහැකි වෙනවා.

යම් හෙයකින් කලම්බු දැවැන්ත පරාජයක් ලැබුවහොත්, ඔවුන් 04වැනි ස්ථානය දක්වා පහළට වැටීමේ අවධානමක් තිබෙනවා.