බුදු දහමෙහි හරය මැනවින් වටහා ගත් අගමැති මෝදි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මොහොතක, අප රටෙහි ඇති පුරාණ උරුමය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා නිරන්තරයෙන් අගය කරන මොහොතක, දෙරට අතර පවතින නොබෙදුණු බෞද්ධ සම්බන්ධතාවය දෙස ආපසු හැරී බැලීම අගනේ ය.

විශේෂයෙන්ම බුදු දහම පිළිබඳ විමසා බැලීමේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දු-ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතා ශක්තිමත් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින බෞද්ධ උරුමය නිරන්තරයෙන් අවධාරණය කරන, අග්‍රාමාත්‍ය මෝදි මහතා ඉන්දියාව කලාපීය හවුල්කරුවෙකු ලෙස පමණක් නොව, ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වන අධ්‍යාත්මික උරුමයක එක්තරා ආකාරයක භාරකරුවෙකු ලෙසට ද හඳුන්වා දී ඇත.

එතුමාගේ දේශන සෑම විටම පාහේ සාමය, දයානුකම්පාව සහ විශ්වීය සහෝදරත්වයේ පණිවිඩය ඉස්මතු කරයි.

බුදු දහම ගතහොත් එතුළ මුල් බැසගත් වටිනාකම් ශ්‍රී ලාංකික ජනතාව සමඟ දැඩි ලෙස බද්ධ වී ඇත. එබැවින් දෙරට ජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීමට බුදු දහම බෙහෙවින් උපකාරී වී තිබේ.

පසුගිය 2021 වසරේ ඔක්තෝබර් මස 20 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර අභිධර්ම දිනයේදී ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරින් මුල් බැසගත් බෞද්ධ සම්බන්ධතාවය නැවත තහවුරු කළ අතර, එය අශෝක අධිරාජ්‍යයාගේ දරුවන් වන මහින්ද හිමි සහ සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කිරීම දක්වාම දිව යන බව එතුමා සිහිපත් කළේ ය. උන්වහන්සේලා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් දිවයිනට ගෙන ආ අතර බුදුන් වහන්සේගේ එම ඉගැන්වීම් විශ්වයටම අදාළ වන බව ද අගමැති මෝදි මහතා ඉස්මතු කළේය. එම අභිධර්ම දිනය තවත් අධ්‍යාත්මික අවස්ථාවක් ලෙස පමණක් නොව, දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතා නැවත ඇති කර ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලෙස ද එතුමා දැක්වීය.

එම දිනයෙහිදී ම කුෂිනගර්-කොළඹ ගුවන් ගමන් වාරය ද විවෘත කරන ලද අතර, වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයෙන් ලබාගත් පූජනීය කපිලවස්තපුර බුද්ධ ධාතූන් වහන්සේ ඉන්දියානු නගර කිහිපයක ප්‍රදර්ශනය කරන ලදී. මෙම ධාතූන් වහන්සේලාගෙන් කොටසක් පසුව 2024 වසරේ අප්‍රේල් මාසයේ දී අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමි විසින් ශුද්ධෝත්තම 14වැනි දලයි ලාමා වහන්සේ හට පූජා කරන ලදී.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සුවිශේෂී බැඳීම ලෙස බුදු දහම හඳුන්වන අගමැති නරේන්ද්‍ර මෝදි, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය පදනමක් ලෙස භාවිතා කරයි. ආසියාවේ අනාගතය හැඩගැස්වීමේදී බුද්ධාගමේ කාර්යභාරය ඔහු අවස්ථා ගණනාවකදී ඉස්මතු කර ඇති අතර,

' බුදුන් වහන්සේ නොමැතිව මෙම සියවස ආසියාවේ සියවස විය නොහැක'

යනුවෙන් ද එතුමා විශේෂයෙන්ම ප්‍රකාශ කර ඇත. 2015 මැයි 04 වන දින නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 'ජාත්‍යන්තර බුද්ධ පූර්ණිමා' දිනයේදී අගමැති මෝදි විසින් කරන ලද මෙම ප්‍රකාශය ආසියානු ජාතීන් එක්සත් කිරීම සඳහා අධ්‍යාත්මික උරුමය උපයෝගී කර ගැනීමේ ඔහුගේ දැක්ම මැනවින් පිළිබිඹු කරයි. එමෙන්ම අගමැති මෝදිගේ රජය බෞද්ධ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි වැඩියෙන් තම විදේශ ප්‍රතිපත්තියට ඒකාබද්ධ කර ඇති අතර, සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතා ගොඩනැගීම සිය බලය කරගනියි.

එමෙන්ම ගුජරාටයේ දෙව්නි මෝරිවලින් හමු වූ බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බව ද පසුගිය අප්‍රේල් 5 වැනි දින අගමැති මෝදි විසින් කරන ලද නිවේදනය කළේ ය. ක්‍රි.ව. 3-4 වන සියවස්වලට අයත් යැයි සැලකෙන කරඬුවක තිබී මෙම ධාතූන් වහන්සේලා හමු වූ අතර එම ධාතූන් වහන්සේලා සේද රෙද්දකින් ඔතා කරඬුවක් තුළ තබා තඹ බඳුනක බහා තිබී සොයා ගන්නා ලදී. කරඬුව පිටත බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියා තිබුණේ “බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති ස්ථානය” යනුවෙනි. අගමැති මෝදි පෞද්ගලිකවම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා කැප වී ඇත.

එපමණක් නොව ජපානයේ ටෝජි සහ කිංකකුජි වැනි ජාත්‍යන්තර සංචාර අතරතුර බෞද්ධ විහාරස්ථාන නැරඹීමට ඔහු අමතක නොකළේ ය. විශේෂයෙන් 2015 වසරේ සිදු කළ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු කොළඹ මහාබෝධි විහාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇමතීමට ද අමතක නොකළ අතර, අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය ද වන්දනා මාන කළේය.

අනුරාධපුරය යනු ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් වන අතර ත්‍රිපිටකය සහ ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ පිළිබඳ විවරණ ලියා ඇති බුද්ධඝෝෂ හිමි වැනි බෞද්ධ දාර්ශනිකයන් අතර බුද්ධිමය හුවමාරු සිදු වූ මධ්‍යස්ථානයක් ද වේ. දකුණු ඉන්දියාව මෙන්ම උතුරු, මධ්‍යම සහ නැගෙනහිර ඉන්දියාවේ මුල් රාජවංශ පිළිබඳ වටිනා තොරතුරු අඩංගු ඉන්දියාවට අහිමි වූ බෞද්ධ ග්‍රන්ථ රාශියක් ද අනුරාධපුරයේ සංරක්ෂණය කර ඇත. අගමැති මෝදි මෙවර සංචාරයේදී ද අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කළේ ය.