ශ‍්‍රී ලංකා නාමය සිංගප්පූරුවේ පතළ කළ ඉංජිනේරුවා

රටට ජාතියට මෙන්ම තමන් පිළිගත් ජීවන මාර්ගය උසස් කොටගත් අභිමානයක් ඇති රටට දැයට සේවය කිරීමට කිසි විටෙකත් පසුබට නොවූ දේශාමාන්‍ය පුද්ගලයින්ගේ ආගමනය ඉතා විරලය. බොහෝ අය තමන්ගේ හැකියාවන් හා උගත්කම් සලකන්නේ ආත්මාර්ථය සඵල කර ගැනීම පිණිස මිස තමන්ට සියල්ල සපයා දුන් ස්ථානයට යමක් කරන්නට නොවේ. එහෙත් සාකල්‍යයයෙන්ම තමන්ගේ ජන්ම භූමිය ඉතා උතුම් කොට සලකා ඒ මාතෘ භූමිය කෙරෙහි අභිමානයකින් යමක් කරන්නට ඉදිරිපත් වන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙකි. එවන් මාතෘ භූමියට කීර්තියක් ලබා දෙමින් විදේශයන්හි පවා ශ‍්‍රී ලංකාවේ නම ඉහළ තලයේ රඳවා තබන්නට හැකි වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයෙක් ලෙස දේශමාන්‍ය සෑම් සමරසිංහ මැතිඳුන් හඳුන්වා දිය හැකිය.
එතුමන් කිසිදු භේදයක් නොසලකමින් තමන්ගේ ජාතියත් උපන් මාතෘ භූමියත් තමන්ට හැකි උපරිමයෙන් ඔසවා තබන්නට තමන් ලද අධ්‍යාපනය උපයෝගී කරගෙන ඇති ආකාරය එතුමන්ගේ ජීවන මං පෙත පිළිබඳව හැදෑරීමේදී මැනවින් පැහැදිලි කර ගත හැක.
දකුණු ආසියාවේ මෙන්ම අග්නිදිග ආසියාවේ රටවල් කීපයකම ඉතා ගෞරවයෙන් සිහිපත් කරන දකුණු ලක උපන් ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වූ අප කතානායකයන් උපත ලබන්නේ මාතර ප‍්‍රදේශයේ ය. මාතර ප‍්‍රදේශයේ මාකදුර නමැති කුඩා ග‍්‍රාමයේ 1948 මාර්තු මස 27 දෙන උපත ලබන මේ පින්වත් දරුවා කුඩා කල සිටම විවිධ හපන්කම් දැක්වූ කෙනෙකි. එතුමන්ගේ දෙමාපියන් සහ පරපුරේ බොහෝ දෙනෙක් සමාජයට සේවය කළ පිරිසක් බව අප මැනවින් වටහා ගන්නේ එතුමන්ගේ ජීවිත කාලය තුළ කරන ලද කැපවීම් දෙස බලාය. කඹුරුපිටිය අකුරුගොඩ ශ‍්‍රී රතනජෝති විද්‍යාලයෙන් හා සමරනායක ආරාමය මූලික කරගෙන මූලික අධ්‍යාපනය හදාරන්නට කුඩා සෑම් දරුවාට අවකාශ ලැබුණේත් තම පවුලේ අයගේ පරිත්‍යාගයෙන් දැයට දායාද කරන ලද ස්ථාන වීම නිසාමය. මූලික අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් වූ සෑම් සමරසිංහ සිසුවාට පාසල් යන්නට නවාතැන් සැලසුනේ මාතර ප‍්‍රදේශයේ සියලූ දෙනාගේම සැලකිල්ලට භාජනය සමාජසේවකයෙක් වූ ජස්ටින් විජේවර්ධන මැතිතුමාගේ නිවසේ සිටය. සෑම් සමරසිංහ සිසු දරුවාට නවාතැන් දුන් ජස්ටින් විජේවර්ධන මහතා මේ ලිපිය ලියන මගේද ලඟම ඥාතිවරයෙකි. මාතර ආසනයේ මන්ත‍්‍රී හැටියටද පසුකලෙක තේරී පත් පත්වූ ජස්ටින් විජේවර්ධන මහතාගේ ගෙදරට මා කීප වතාවක්ම ගිය අතර එතුමන්ගේ චාම් ජීවිතය හා බොහෝ සමාජ ක‍්‍රියාකාරකම් සෑම් සමරසිංහ මහතාගේ පසු කාලීන ජීවිතයට බෙහෙවින් ගුරුහරුකම් ලබා දී ඇති බවද මට මැනවින් පසක්විය. අදටත් සෑම් සමරසිංහ මහතා එතුමන් සිහිකරන්නේ ඉතාමත් කෘතවේදීත්වයෙනි.
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මහත් දස්කම් දැක්වීමට සෑම් සිසුවාට වඩාත් අවකාශ සැලසෙන්නේ 1966 වසරේ නාලන්දා විද්‍යාලයේ හොඳම සිසුවාට හිමි රන් පදක්කම දිනා ගැනීමත් සමඟය. පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඇතුළත්ව විශිෂ්ට ලෙස ඉංජිනේරු උපාධිය ලබා 1970 වසරේදී විශ්ව විද්‍යාලයෙන් පිටවන සෑම සමරසිංහ තරුණ මහතා 1971 වසරේ සිට 1975 වසර දක්වා රාජ්‍ය සේවයට සම්බන්ධ වී කටයුතු කරන්නට ඉඩ සලසා ගත්තේය. තමන් ලබාගත් ශිල්පීය ඥානය තුළින් විවිධ ක්ෂේත‍්‍ර සඳහා සේවය කරන්නට හැකියාව මෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තුවල සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව හඳුන්වා දීමේ වැඩ පිළිවෙලක පුරෝගාමියා ලෙස කටයුතු කරන්නට එතුමන්ට අවස්ථාව උදාවී තිබුණි. පාසල්වල ප‍්‍රගතිය වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගම් අද බොහෝ සේවාවන් සිදු කරන අතර එදා සෑම් සමරසිංහ මහතාට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ආදී ශිෂ්‍ය සංගම්, ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හැකියාව ලැබුණි. මේ ආදි ශිෂ්‍ය ව්‍යාපාරය ඉතා ජනප‍්‍රිය එකක් වූ අතර වසරක නාලන්දා විදුහලේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් මිලියන 25ක් එම විද්‍යාලයට පරිත්‍යාග කර තිබුණි. තමන් ලබාගත් අධ්‍යාපනයේ ඉහළම ප‍්‍රතිඵල භුක්ති විඳීමට එතුමාට අවස්ථාව සැලසෙන්නේ 1975 වසරේ වැඩිදුර අධ්‍යාපනය සඳහා දිවයිනෙන් බැහැරවීමත් සමඟය. එංගලන්තයේ සමාගමක් යටතේ එම සමාගමේ මැලේසියානු කාර්යාලයට අනුබද්ධව සේවය කරමින්, මැලේසියාවේ ක්වාලාලම්පූර් හි ජල සම්පාදන ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ කාර්ය භාරව සිටි ප‍්‍රධාන ඉංජිනේරුවා වූයේද සෑම් සමරසිංහ මහතායි. එතුමාගේ සැලසුම් නිසා මැලේසියානු රජයට ඩොලර් මිලියන ගණනක් ඉතිරි කරගන්නට අවකාශ සැලසුණි. මැලේසියාවේ සේවය කරන කාලයේ ක්වාලාලම්පූර්හි බෞද්ධ විහාරයේ උප සභාපති ධූරයට පත්වීම තුළින් මහත් සේවාවක් කිරීමට එතුමාට හැකියාව ලැබුණි. බෞද්ධ පොතපත ලියන්නට මැලේසියාවේ වැඩ හිඳිමින් මහත් සේවයක් සිදු කළ පූජ්‍ය කිරීන්දේ ධම්මානන්ද නාහිමියන් කැමති කරගෙන එතුමන් විසින් ලියන ලද පොත් රාශියක් විදේශ භාෂා රාශියකට පරිවර්තනය කර බෙදා හරින්නට ද එතුමන්ට හැකියාව සැලසුණි.
ලන්ඩන් ඉම්පිරියල් උසස් අධ්‍යාපන ආයතනයට පශ්චාත් උපාධිය සඳහා ඇතුළත් වන එතුමා තමන්ට ලැබෙන මහඟු අවස්ථා පවා ප‍්‍රතික්ෂේප කරමින් පුහුණු ඉන්ජිනේරුවරයකු ලෙස සමාජයට සේවය කිරීමට එතුමා විසින් ගන්නා ලද උත්සාහය බොහෝ ඵලදායි වූ බව සඳහන් කළ යුතුමය. සෑම විටම තමන්ගේ හැදියාව වෙනුවෙන් මූලික පන්නරය ලද බුදු දහම කෙරෙහි මහත් බැඳීමකින් කටයුතු කළ සෑම් මහතාට, ප‍්‍රථම වරට බ‍්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක බෞද්ධ සමිතියක් පිහිටුවීමේ ගෞරවයද හිමි වේ. එම බෞද්ධ සමිතියේ නිර්මාතෘ මෙන්ම මුල්ම සභාපතිවරයා ලෙසද කටයුතු කිරීමට තමන් ලද අවකාශයෙන් Wisdom නැමැති සඟරාව එතුමාගේ ධන පරිත්‍යාගයෙන් මුද‍්‍රණය කරන්නටද හැකියාව ලැබුණි. බ‍්‍රිතාන්‍යයේ බුදු දහම උගතුන් අතර ප‍්‍රචලිත වීමට මෙතුමා තබන ලද මෙම පියවර බෙහෙවින්ම හේතු වූ බව සඳහන් කළ යුතුය. ඉරානයේ පරිගණක මෘදුකාංග සම්බන්ධ අඩුපාඩු පෙන්වා දෙන්නට එතුමාට හැකියාව ලැබුණේ 1978 දී ඉරානයේ ඉහළ රැකියාවක් සඳහා යොමුවීමෙන් පසුවය. අනතුරුව 1980 සිංගප්පූරු රජයේ අනුග‍්‍රහයෙන් එතුමන්ට ලැබුණු ඉහළම රැකියාව සමඟ එතුමාගේ ජීවිතයේ නව පරිච්ෙඡ්දයක් ඇරඹුණි. සෑම් මහතාගේ නම සිංගප්පූරුවේ ඉතා ඉහලම තලයට පත්වන්නේ එතුමාගේ මග පෙන්වීම යටතේ සිංගප්පූරුවේ ඉදිවූ ගොඩනැගිලි, පාලම්, ගුවන්තොටුපොළ, වරාය, මහාමාර්ග, වෙරළ ආරක්ෂාව, මුහුද ගොඩකිරීම, කර්මාන්තශාලා ඉදිකිරීම් හා තෙල් ගබඩා පහසුකම් සැපයීම යන අංශවල ඇති වූ මහත් ප‍්‍රගතිය නිසාය. එතුමාගේ කැපකිරීම නිසා සිංගප්පූරුව තනිකරම දියුණු තලයේ සංවර්ධිත රටක් බවට පත්වීමට සෑම් සමරසිංහ මහතාගේ කැපකිරීම් හේතු වූ බව සිංගපුර් ඉතිහාසයේ සඳහන් වීමද ඉතා අගය කොට සැලකිය යුතුය. මෙවන් වටිනා පුද්ගලයින්ගෙන් ගත යුතු සේවාව අපේ රටවලට ලබා නොගැනීම, අප රටට විශාල පාඩුවක්ය. සෑම් සමරසිංහ මහතා සිංගප්පූරුවට හඳුන්වා දුන් විශේෂිත නිර්මාණ අතර තට්ටු හතළිස් දෙකකින් යුක්ත සිංගප්පූරු වරාය මූලස්ථාන හා වසර දෙකක කාලයකට සහල් ගබඩා කර තැබිය හැකි ලොව ප‍්‍රථම සහල් ගබඩාව ද ප‍්‍රධාන වේ. සිංගප්පූරුව සෑම් මහතාගෙන් ලද ලොකුම දායාදය වන්නේ පරිගණක ආධාරක සැලසුම් හා කෙටුම්පත් පද්ධතිය සිංගප්පූරුවට හඳුන්වා දීමයි. එතුමාගේ ප‍්‍රධානත්වය යටතේ පැවති ආයතනය සිංගප්පූරුවේ උසස්ම උපදේශන ආයතනය බවට පත්විය.
සිංගප්පූරුව ධනය පසුපස හඹා යන රටක් බවට පත්වීමෙන් පසු ආධ්‍යාත්මික දියුණුව කෙමෙන් පසුබෑමකට ලක් වූ අතර සීයට විස්සක්ව සිටි සිංගප්පූරු බෞද්ධ ජනගහනය සියයට දහය දක්වා අඩුවන බවට සඳහන් වී තිබුණි. සෑම් සමරසිංහ මහතා එවකට මැල්සියාවේ හා සිංගප්පූරුවේ ඉංග‍්‍රීසි බසින් ධර්මය ඉගැන්වීමේ කටයුත්තෙහි යෙදී සිටි පූජ්‍ය කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ Singapore Buddhist Mission මූලස්ථානය ආරම්භ කර එවකට සිංගප්පූරුවේ වැඩ සිටි පූජ්‍ය වේරගොඩ සාරද හිමිපාණන් වහන්සේගේද සම්බන්ධයෙන් බෞද්ධ පොතපත මුද‍්‍රණය කර නොමිලේ බෙදා හැරීමට කටයුතු කිරීමෙන් පසු එරට බෞද්ධ ජනගහනයේ සියයට හතළිය දක්වා වර්ධනය වී ඇති බවට සනාථ විය. එරට තුළ ශ‍්‍රීලාංකික විහාරස්ථාන දාහතක් ඉදිවීමටත් අනෙකුත් ජාතික විහාරස්ථාන සිය ගණනක් ඉදිවීමටත් මෙතුමා ආරම්භ කළ වැඩ වැඩසටහන් හේතු වූවාට කිසිදු සැකයක් නැත. අද ලොව පුරා විසිරි සිටින බෞද්ධ භික්‍ෂූන් වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම සිදුකිරීමට සෑම් මහතාට හැකියාව ලැබීම නිසා ලොව පුරා දහම් පුනරුදයක් ඇති කිරීමට එතුමාට හැකියාව ඇතිවූ බව සඳහන් කළ යුතුය. එතුමාගේ කැපකිරීම නිසා දිවයිනේ විවිධ පළාත්වලට විවිධ ප‍්‍රතිලාභ අදත් ලැබෙනවා. අසරණ වුවන්ට හා විහාරස්ථානවලට පරිත්‍යාග වශයෙන් විශාල ආධාර මුදල් ලැබී තිබෙනවා. සමහර විට වසරකට රුපියල් මිලියන සිය ඉක්මවූ පරිත්‍යාග එවීමට එතුමාගේ මැදිහත්වීම හේතු වූ බව සඳහන් කළ යුතුය.
එතුමාගේ සේවය නිසා ශ‍්‍රී ලංකාවේ නම ලොව පතල වීමටත් සිංගප්පූරුව තුලින් කරන ලද පරිවර්තන නිසා මහත් කීර්තියක් ලාංකික ඉංජිනේරුවරයෙක් ලෙස ලංකාවට ලැබීමටත්, රට ජාතිය ආගම වෙනුවෙන් එතුමාගේ කැපවීම නිසා විශාල වශයෙන් ජාතික පුනරුදයක් ඇතිවීමටත්, බුදු දහම ලොව තුළ ප‍්‍රචලිත වීමටත් හේතු වූ බව පැහැදිලිය. 77 වන වියට පා තබන සෑම් සමරසිංහ මහතාණන්ට තවත් දීර්ඝ කාලයක් රට ජාතිය ආගමට සේවය කරන්ට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා යන්න අපගේ ආශිංසනයයි.
පූජ්‍ය පරවාහැර චන්දරතන නායක ස්ථවිර
ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය-ප‍්‍රංශය