පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ දී....

ඉන්දියාවේ දැවැන්තම බෞද්ධ ජනපදයක් වන මුන්ගොඩ් හි නාලන්දා සම්ප්‍රදායට අයත් ටිබෙට් බෞද්ධ විශ්ව විද්‍යාලය කිහිපයක්ම තිබෙනවා.

ගන්ඩෙන්, ඩ්‍රෙපුන්, ලොස්ලි ලෙස නම් වන මෙම බෞද්ධ විශ්ව විද්‍යාලයයන් වල භික්ෂූන් වහන්සේලා විසිදහසක් පමණ ඉගෙනුම ලබනවා.

එබැවින් බෞද්ධ දර්ශනයේ ප්‍රගතිශීලී ගමන්මඟ ශක්තිමත් කිරීම උදෙසා ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟපෙන්වීම යටතේ 2022 වර්ශයේ බුද්ධගයාවේදී පාලි හා ස‍ංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වූයේ මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් ය.

ඒ අනුව මෙම වැඩසටහනේ තෙවන අදියර 2024 දෙසැම්බර් 21 දින ඉන්දියාවේ දී ආරම්භ වූ අතර එම වැඩසටහන සඳහා ශ්‍රීලංකාව, ඉන්දියාව, ටිබෙටය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, භූතානය යන රටවලින් භික්ෂූන් වහන්සේලා සහභාගී වූ අතර මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භික්ෂූන්වහන්සේලා එකොලොස් නමක් සහභාගී වුණා.

මෙම වැඩසටහනෙහි සමාරම්භක උත්සවය 2025 ජනවාරි මස 07 දා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ගන්ඩෙන් ශාස්ත්‍රෙ භික්ෂු  ආරාමයේ දී පැවැත් වූ අතර මෙහි ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස මහෝපාධ්‍යාය පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව, සභාපති අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය නවදිල්ලිය සහ ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන් සහභාගී වුණා.

පාලි හා සංස්කෘත සම්ප්‍රදායයන් දෙකටම අනුකූලව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහනේ පිළිගැනීමේ කතාව අන්තර්ජාතික ගෙලුක් පදනමෙහි (Inte ational Geluk Foundation) මහා ලේකම් කෙන්සූර් රින්පොචේ ලොබ්සන්ග් ගැත්ස්‍යොන් විසින් සිදු කරනු ලැබුවා.

එසේම මෙම වැඩසටහන ආමන්ත්‍රණය කරමින් බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ සභාපති, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා උතුම් බෞද්ධ දර්ශනයේ සුරක්ෂිත බව උදෙසා ගත් පියවර පිළිබඳ සඳහන් කරනු ලැබුවා.

විශේෂයෙන්ම ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාට ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ 2017 වර්ශයේ බුද්ධගයාවේදී හමු වු අවස්තාවේ දී  බුදු දහම හා සබැඳි සම්ප්‍රදායන් එකතු කිරීමේ අවශ්‍යතාවය හා එය අනාගත බෞද්ධ දර්ශනයේ නව ගමන්මඟේ සාර්ථකත්වය ට බලපාන ආකාරය පිළිබඳ තමන් සමඟ සාකච්ඡා කළ බවයි.

ඒ අනුව ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ යෝජනාව යටතේ මෙම  අන්තර්ජාතික භික්ෂු  හුවමාරු වැඩසටහන ආරම්භ කළ  බව ද එහි තවත් සුවිශේෂි පියවරක් ලෙස ලෝකයේ පලමු පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්නට හැකි වීම අතිශය සතුට කරුණක් ලෙස එතුමා සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම ලංකාවේ ප්‍රථම වතාවට ටිබෙට් භික්ෂූන් වහන්සේ නමක් මෙම මස අවසානයේදී  පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ නතර වීම සඳහා පැමිණෙන බව එතුමා සඳහන් කළ අතර මෙම වැඩසටහන සඳහා නිග්ගහ ඥාණින්ද හිමිගේ නායකත්වයෙන් දක්ෂ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් සහභාගී වී සිටින බව ද  ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා පවසනු ලැබුවා.

මෙම අවස්තාව සඳහා දක්ෂිණ ලංකාවේ සංඝනායක කොස්ගොඩ ඥාණින්ද නායකහිමියන් ද, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ අධ්‍යක්ෂක ජෙනරාල් අභිජිට් හල්දේර් මහතා, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ මහා ලේකම් කෙන්සුර් රින්පොචේ ජන්ග්චුප් චොඩෙන් මහතා, දලයි ලාමා වහන්සේගේ අග්නිදිග ආසියානු සම්බන්ධීකාරක පරී ජින්පා මහතා ද සම්බන්ධ වුණා.