ජනපතිගේ නියෝජිතයා ලෙස ඇමති විජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබේනවා.

අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

ඒ අනුව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර තිබෙනවා.

ඊට අමතරව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්ව ඇති බව සඳහන් වෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වෙනවා.

ඒ අනුව, නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව ලබන මස 09වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් හා සාගර කාරියවසම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
මේ අතර, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් ධුරය පුරප්පාඩු වී තිබෙනවා.

ඒ එම ධුරයේ කටයුතු කළ ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන්.

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යංශ 17ක් සඳහා නව ලේකම්වරුන් පත් කළ අතර එහිදී පසුගිය රජයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ලේකම් ධුරයේ කටයුතු කළ ප්‍රදීප් යසරත්න මහතා යළි එම ධුරයට පත් කිරීමට පියවර ගනු ලබනවා.

කෙසේවෙතත් පසුගිය සිකුරාදා දිනයේ ප්‍රදීප් යසරත්න මහතා අදාළ අමාත්‍යංශවල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ තමන් ලේකම් ධුරයෙන් ඉවත් වන බවයි.

දෙසැම්බර් මාසයේ දී තමා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත බැවින් අදාළ තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බව අද දෙරණ කළ විමසීමක දී ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළා.