පිස්තෝල කඩිනමින් ආපසු ලබාදෙන්නැයි හිටපු මන්ත්‍රීවරුන්ට නියෝග

පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව නැවත ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නියෝග කර ඇති බව දේශපාලන ආරංචි මාර්ගයක් පවසනවා.

මෙම ගිනි අවි ලබාගත් හිටපු මන්ත්‍රීවරුන්ට ඒවා භාර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු බලධාරීන් වෙනම ලිපි යවා ඇති බව සඳහන් වනවා.

පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාගෙන ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ඒ හිටපු මන්ත්‍රීවරුන්ට තම පුද්ගලික ආරක්‍ෂාව සඳහා අවම වශයෙන් ගිනි අවි දෙකක් තබා ගැනීමට පසුගිය රජය විසින් ගත් තීරණයකට අනුවයි.

රට තුළ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමට අවසර දීමේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි ජනාධිපතිවරණයට පෙර අගෝස්තු මාසයේ මාධ්‍ය අමතමින් එවකට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත්, පසුගිය රජය ගත් තීරණය වත්මන් රජය අනුමත කරන්නේද යන්න තවමත් පැහැදිලි නැති බවත් වාර්තා වනවා