ඉන්ධන මිලට වෙන්නේ මොකක්ද ?

මාසික ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අදාළ ගාස්තු සංශෝධනය පසුගිය ආණ්ඩු සමයේදී මාසයේ අග සිදු කෙරුණු පසුබිමකයි.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය විසින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

පසුගිය මාසයේ මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමට කටයුතු කළ අතර එය මේ වනවිට රුපියල් 332කට අලෙවි කරනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කළ අතර එහි වත්මන් මිල රුපියල් 377ක්.

රුපියල් 10කින් මිල අඩු කෙරුණු සුදු ඩීසල් මේ වනවිට රුපියල් 307කට ලබා ගත හැකි වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දැමුණු අතර එහි අලෙවි මිල වන්නේ රුපියල් 352ක් භූමිතෙල් ලීටරයක් මේ වනවිට රුපියල් 352කට අලෙවි කෙරෙනවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන අලෙවි කිරීමටයි කටයුතු කරන්නේ.

ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල මේ වනවිට පහළ යමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම මෙරට ජනාධිපතිවරණ වේදිකාවේදී ද ඉන්ධන මිල සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා.

මේ අතර පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් ප්‍රකාශ කළේ, පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවයි.

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම එහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරින්ට එහිදී පෙන්වාදී තිබුණා.

ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.

මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බව ඔහු එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එමෙන්ම විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල රථය සහ කාර්යාලය භාරදීමෙන් අනතුරුව මෙරට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි, ඔහු සඳහන් කළේ.

ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් මෙරට සතුව තිබෙනවා.

ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවයි, කංචන විජේසේකර මහතා කියා සිටියේ.